ඇස් දෙක ඇරගෙන කියවපල්ලා..

1
697

ඇස් දෙක ඇරගෙන කියවපල්ලා..

මේ රටට සර්වජන චන්ද බලය කියල එකක් ලැබුන දවසෙ ඉඳලම උඹල කතිරෙ ගැහුවා.
මේ රටට, ජාතියට, ආගමට, සංස්කෘතියට කිසි සේත්ම නොගැලපෙන ආකල්ප, ප්‍රතිපත්ති එක්ක බිහිවුනු, කරවන එවුන්ගෙ බඩ වඩාගන්න හැදුනු පක්ෂ කියල ජාතියකට උඹල පිල් බෙදුනා.
එක එකා කියන සුරංගනා කතා අහල උඹල රැවටුනා.
උන්ට තාන්න මාන්න ගන්න, උන්ට හරි හම්බ කරගන්න, උන්ගෙ පවුල් පරම්පරා පිටින් ගොඩයන්න උඹලගෙ දුප්පත්කම උඹල පූජාකලා.
උන්ගෙ ලමයින්ට සුරසැප දෙන්න උඹලගෙ අසරණ පොඩි එවුන්ගෙ සතුට සැනසුම උඹල පූජා කලා.
උන්ට රාජභෝජන වලඳන්න උඹල හරි හම්බ කරගත්තු බත් පත උඹල පූජා කලා.
අසනීප උනාම උන්ට පිටරට රෝහල්වලට යන්න උඹළගෙ ක්ලිනික් කාඩ් එක උඹල පූජා කලා.
උන්ට සුවිසල් මන්දිර හදාගන්න උඹලගෙ දුප්පත් පැල්පත උඹල පූජා කලා.
උන්ට සැපවාහන ගන්න උඹලගෙ බස් එක කෝච්චිය උඹල පූජා කලා.
උන් කරන හොරකම් වලට ණය ගෙවන්න උඹලගෙ පර්ස් එක උඹල පූජා කලා.
ඒ විතරක් ද?
උඹලගෙ හය හතර නොතේරෙන පුංචි කෙලි පැටවුන්ව දූෂණය කරන්න උඹල උන්ට ඉඩ දුන්නා.
උඹල මහමෙරක් දුක් විඳගෙන හදපු උඹලගෙ දරුවො අමු අමුවෙ මරල දාන්න උඹල උන්ට අවසර දුන්නා.
උන්ට කොමිස් ගහගන්න උඹලට වස විස, බාල කෑම බීම කවන්න උඹල උන්ට අවස්ථාව දුන්නා.
උන්ට කෝටිගණන් හම්බ කරගන්න උඹලව ලෙඩ කරන්න උන්ට අවස්ථාව උඹල දුන්නා.
අම්මා වගේ උන්නු මේ සොබාදහම වනසන්න උඹල උන්ට අවස්ථා දුන්නා.
උන් ගේන මත්කුඩු ටික අසරණ තරුණ කොල්ලන්ට ගස්සවන්න අවස්ථාව උඹල හදල දුන්නා.
ලෝකෙන්ම දියුණු කෘෂිකර්මය තිබුනු මේ රටේ පොළොවට වස, විස, පොහොර කලවම් කරල පස විනාස කරල, බොන්න තිබුන වතුර ටික විස කරවලා උඹලව වකුගඩු රෝගීන් කරන්න අවස්ථාව උඹල උන්ට සලසා දුන්නා.
තව කියනවනම් කොච්චර දේවල් නම් කියන්න තියෙනවද?
හිතල බලපල්ලා, ඇස් ඇරපල්ලා, ආපහු හැරිල බලපල්ලා පහුගිය අවුරුදු පනහකට වැඩි කාලයක් උඹල කතිරෙ ගහල මේ රටට කරවපු විනාසෙ කොච්චරද කියල.
අන්තිමේදි උඹලට මොනවද හම්බෙලා තියෙන්නෙ?
උඹල මොනවද තමන්ට කියල කරගෙන තියෙන්නෙ?
උඹල මහලොකු පෝසත්තු වෙලාද?
උඹලගෙ දරුමල්ලො පිටරටවල ලොකු ලොකු රස්සා කරනවද?
කෝටි ගාණක සුපිරි කාර් එකක් තියා උඹලගෙ ගෙදර බයිසිකලයක් වත් තියෙනවද?
හතර වටේ බැංකුවලට ණය වෙලා හිඟාකාලා අටවගත්තු වහලක් ඇරෙන්න උඹල හැමෝටම සුවිසල් මන්දිර තියෙනවද?
හංදියෙ කඩේ මුදලාලිට පිංසෙන්ඩු වෙලා මාසෙ ණය පොතට ගෙදරට ගේන හාල්, පරිප්පු, පොල් ටික හැරුණකොට උඹල සමහර පෝසත් කෑම බීම දැකලවත් තියෙනවද?
සිංහල අවුරුද්දට ගන්න ඇඳුම දෙක ඊළඟ අවුරුද්ද වෙනකන්ම අඳිනව ඇරෙන්න උඹල විසි තිස්දාස් ගණන් වල බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැලඳුම් දැකල තියෙනවද?
අහනවනම් තව ප්‍රශ්න සියගාණක් තියෙනව අහන්න…
ඒත් ඒ හැම එකකටම ලැබෙන්න තියෙන උත්තරය “නෑ” කියන එක විතරයි නේද?
හොඳයි නේද උඹල කතිරෙ ගහල කරගත්තු හරිය?
ඒත් උඹලට ලැජ්ජා නෑ තාම.
මේ හැම දුකම විඳගෙන උඹල තාම කටවල් ඇරගෙන එක එකා පස්සෙ දුවනව.
එක එකා වෙනුවෙන් පිල් බෙදිල මරාගන්නව.
ඊළඟ පාර එන එක්කෙනා නම් සෝක් කිය කිය ඒ වෙනුවෙන් උඹලගෙ ඉතුරු වෙලා තියෙන සතේට හරි කෙලවගන්නව.
උඹල උපන් ගෙයි මෝඩයො කියල උන් හැම එකාම දන්නව.
බොහෝම පුංචි සරළ කාරණා ටිකක් වත් තේරුම්ගන්න බැරි තරම් උඹල ඔලමොට්ටලයි කියල උන් දන්නව.
උඹලට ලැජ්ජාවක් කියල එකක් ගෑවිලාවත් නෑ කියල උන් දන්නව.
මෝඩ උඹලගෙ කරපිටින් ගිහිල්ලා ආයෙ උන්ට වැජඹෙන්න පුළුවන් කියල උන් හොඳාකාරවම දන්නව.

බොලව්නේ, දැන්වත් වෙනස් කරපියව් මේ කාලකණ්ණි ක්‍රමය.
තාම පරක්කු නෑ. අපිට ආයෙ නැගිටින්න ඔය ප්‍රජාතන්ත්‍රවාදය වත්, සමාජවාදය වත්, ජාත්‍යන්තරය වත් අවශ්‍ය නෑ. ඔය කියන ණය ගෙවන්න උඹල ඔච්චර බදු ගෙවන්න ඕන නෑ.
ගෙදර වත්තෙ වගාකලා නම්, පුරන් වෙලා තියෙන කුඹුරු ටික අස්වැද්දුවා නම් ඒකම ඇති බොලව්නෙ ලෝකෙට ණය නොවී ජීවත් වෙන්න.
කරනවනම් ක්‍රියාත්මක කරන්න සැලසුම් සිය දහස් ගාණක් අපිට මේ රට ඇතුලෙම තාමත් තියෙනව.
ඔය උඹල පත්කරගන්න හදන එකෙක් වත් උඹලට ඒව පෙන්නල දෙන්නෙ නෑ ඒකාන්තයි. මොකද එහෙම උනහම උන්ට බෑ උඹලගෙ මෝඩකම් වලින් ප්‍රයෝජන අරගෙන උන්ට වැජඹෙන්න.
මතක තියාගනිල්ලා ඔය එකෙක්වත් උඹලට ආදරේ නෑ. පොඩි වෙලාවක් උන් කරන කියන දේවල් දිහා බලාගෙන හිටපල්ලා ඒක හොඳට තේරෙයි උඹලගෙ ඔලුගෙඩිවලට.
උඹල මෙච්චර කාලයක් උන්ට වැජඹෙන්න ඉඩදීලා අපා දුක් වින්දා. කමක් නෑ දැන් ගිය දේ ගියා.
උඹල දැන්වත් වෙනස් උනොත් ඒකෙ යහපත් ප්‍රතිඵලය උඹලගෙ දරුවන්ට, අනාගත පරපුරට.
ඉරිසියා නොකර උන්ටවත් මේකෙ සතුටින් පය ගහලා ඉන්න පුළුවන් වාතාවරණයක් සකස් කරල දීපල්ල.
ඔය හිස්කබල් ඇතුලෙ තියෙනව මොළ කියල ජාතියක්.
අන්න ඒව පාවිච්චි කරපල්ලා.

තෙරුවන් සරණයි!

Chathuranga Dhanasekara

1 COMMENT

  1. Enge le naliyanawa yakune mewa dakiddi…
    Mage prarthanaya helayange pin balayen mage ratata adare sinhala rajek pahala wewaa..
    Newathath helaya dinewaa…
    Anoj da Silva weda mahathatath ohuta udaw karana siyalu denatath Budu saranai Dewi pihitai.. Ravana surindu pihitai.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here